Diriya

අනුප‍්‍රාප්තිකයන් සැලසුම් කිරීම (Succession Planning) සඳහා උපදෙස්

Image by Sasin Tipchai from Pixabay

ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ සුදුසු අනුප‍්‍රාප්ති සැලැස්මක් (Succession Plan) ඔබ සතුව තිබේද? නැතිනම් තවමත් ඔබ එවන් සැලැස්මක් නොමැතිව කල් මරමින් සිටිනවාද? ඔබට ඔබගේ අනුප‍්‍රාප්තිකයන්ගේ හැකියාවන් පිළිබඳ සෑහීමකට පත් විය හැකිද? ඔබගෙන් පසුව, ඔබගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඔබ තෝරාගන්නේ ඔබගේ දරුවන් ද? නොඑසේ නම් වෙනත් කළමනාකාරීත්වයක්, සේවා යෝජකයෙක් ද? එසේත් නැතිනම් තුන් වන පාර්ශවයක් වෙත එය විකුණා දැමීමට අදහස් කරනවාද? පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති ආකාරයට,සමස්ථයෙන් 40% කට වැඩි ප්‍රමාණයක සමාගම් හෝ සංවිධානවල අනුප්‍රාප්ති සැලසුම්කරණය (Succession Planning) තවම සිදු වී නැහැ. එය තරමක් ඍණාත්මක තොරතුරක් වූවත්, තවමත් ඔබ, ඔබ ඔබගේ ව්‍යාපාරය අනාගතයේදී භාරදීමට සුදුසු අනුප‍්‍රාප්තිකයන් පිරිසක් ගොඩනඟා ගැනීමට ප්‍රමාද නැති බව සිහි තබාගන්න.

ඔබගේ ආයතනයේ දැනට සේවය කරන, දක්ෂ, කුසලතා පිරි සේවකයන් හෝ තමන්ගේ රැකියාවේ අනාගත අභිවෘද්ධිය සලසාගැනීමේ හැකියාව තිබෙනා සේවකයින්, ඒ සඳහා පුහුණු කරන ක‍්‍රමවේදයක් ලෙස අනුප්‍රාප්තික සැලසුම්කරණය සැලකිය හැකිියි. අනාගතයේ යම් දිනෙක, ඔබගේ ආයතනයෙහි ඉහළ විධායක තනතුරු වල ඇබෑර්තු ඇති වන විටෙක ඉහතකී අන්දමේ සේවකයින්ව එම ඇබෑර්තු වලට පිරවීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. එමෙන්ම අනුප්‍රාප්තික සැලසුම්කරණය මඟින් ඔබට හිමිවන තවත් ප‍්‍රයෝජන බොහෝයි. ඔබේ ව්‍යාපාරයේ දැනට කාර්යසාධනය අඩු කලාපවලට මේ අනුප‍්‍රාප්තිකයින්ව (Successor)  යොදවා, ඔවුන්ගේ දක්ෂතා මඟින් ඒ දුර්වලතා මගහැර ගත හැකියි. එහිදී එම අනුප‍්‍රාප්තිකයින්ටත් එය වටිනා අත්දැකීමක් වනු නොඅනුමානයි. එමෙන්ම එය ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමේ මෙවලමක් ලෙසද යොදාගත හැකියි.

අනුප‍්‍රාප්තික සැලසුම්කරණයේදී ඔබට පිළිපැදිය හැකි සරල උපදෙස් කිහිපයක් පහතින් විස්තරාත්මකව දක්වා ඇත.

වැදගත් භූමිකා හඳුනාගැනීම

අනුප්‍රාප්තික සැලසුම්කරණය ආරම්භ කරන විට මුලින්ම කළ යුත්තේ, ව්‍යාපාරය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යය මූලික භූමිකාවන් තීරණය කිරීම‍යි. එම භූමිකාවන් අසම්පූර්ණව පැවතීම ඔබගේ ව්‍යාපාරයේ අනාගතයට බෙහෙවින් බලපාන කරුණකි. එබැවින් එම භූමිකා හඳුනාගෙන ඒවාට සුදුසු පුද්ගලයන් බඳවා ගන්නා ආකාරය ගැන සැලසුම් කිරීම ප්‍රමාද නොකළයුතු කර්තව්‍යයක් වේ. මන්ද යත් මූලිකවම අනුප්‍රාප්තික සැලසුම්කරණය යනු ආයතනයේ ව්‍යාපාරික ධූරාවලියේ (Business Hierarchy) කඩපතක් වන හෙයිනි.

අනුප‍්‍රාප්තිකයන් හඳුනාගැනීම.

ආයතනයේ අභ්‍යන්තරිකව හෝ බාහිර වශයෙන් අනාගත අනුප්‍රාප්තිකයින් තෝරා ගැනීමේදී ඔවුන් හට එම කර්තව්‍යය ඉටුකිරීම වෙනුවෙන් වූ පුහුණුව සහ ඔවුන් කෙරේ වූ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එමෙන්ම පහළ මට්ටමේ සේවකයින් හට ඔවුන්ගේ සුදුසුකම් අනුව උසස්වීම් ලබා දීමෙන් ආයතනයෙහි යහ පැවැත්ම උදෙසා ඔවුන් රඳවාගැනීමේ හැකියාවද ලැබෙනු ඇති.

අනුප‍්‍රාප්තිකයා අභ්‍යන්තරිකද බාහිරද යන වග තීරණය කිරීම.

බොහෝ අවස්ථාවලදී, විවිධ හේතූන් නිසා ආයතනය තුළින්ම අනුප්‍රාප්තිකයින් පත් කරගැනීම සිදු කරනු ලබයි. එමඟින් නව බඳවා ගැනීම්වලට වැය වන අමතර පිරිවැය ඉතිරි කරගත හැකියි. එමෙන්ම එලෙස පත්වෙන පුද්ගලයා බාහිරින් බඳවා ගනු ලබන පුද්ගලයෙකුට වඩා අදාළ ව්‍යාපාරයටත් ඉතා සමීප අයෙකු වනවාක් මෙන්ම, ඵලදායී සේවකයෙකු බවට පත් වීමේ සම්භාවිතාව ඉතා ඉහළයි. නමුත් අදාල සුදුසුකම් ඇති අයෙකු ආයතනයේ අභ්‍යන්තරිකව සොයා ගැනීම අපහසු අවස්ථාවකදී අදාළ තනතුරට ගැළපෙන පුද්ගලයෙකු බාහිර පරිසරයෙන් තෝරා පත් කරගැනීමට සිදු වේ.

මෙලෙසින් පත් කරගන්නා වූ සේවකයින් අතරින් අනාගත නායකත්වය වෙනුවෙන් ඉක්මණින් හැඩ ගැහෙන්නේ බාහිරින් සේවයට බඳවා ගන්නා වූ සේවකයින්. එයට හේතු වන්නේ අභ්‍යන්තරිකව එම තනතුරු සඳහා පත්වන සේවකයන්ට තමන්ගේ පෙර රාජකාරිය හා තත්ත්වය අත් හැර නව තනතුරේ ස්වරූපයට හැඩගැසීමට තරමක කාලයක් ගත වීමයි.

දක්ෂයින් හඳුනාගෙන ඔවුන් පුහුණු කිරීම.

ඔබගේ ව්‍යාපාරයෙහි සේවය කරන පුද්ගලයින් අතරින් ඉහළ ශක්‍යතාවයක් ඇති අයවළුන් හඳුනාගෙන ඔවුන් හට, තවත් හැකියාවන් ඔප මට්ටම් කරගැනීම වෙනුවෙන් මනා පුහුණුවක් සහ උපදේශනයන් ලබා දිය යුතුයි. එමඟින් ඔවුන් කෙරේ වූ කුසලතා වර්ධනයට මෙන්ම, දැනට ඔවුන් සතුව නොමැති ඇතැම් කුසලතා ඇති කරගැනීමටත් අවකාශ ලැබෙනු ඇති. හොඳ නායකයන් සතුව සුවිශේෂී දැක්මක් තිබීම අත්‍යවශ්‍ය වන අතරම මනා වාචික සහ ලිඛිත කුසලතාවයන්ගෙන් සමන්විත වූ අන්තර් පුද්ගල සන්නිවේදන කුසලතා තිබීමද අනිවාර්‍යය කරුණු වනවා.

විවෘත මනසකින් යුතුව ඔබගේ දැක්ම අනෙක් පාර්ශවයන් හට ලබා දීම.

අනාගතයේදී උසස් තනතුරු සාර්ථකව හෙබවීමට හැකියාවක් ඇති සේවකයින් හඳුනාගත යුතුයි. එමෙන්ම ඔබ විසින් අනාවරණය කොට ගත් තොරතුරු මානව සම්පත් අංශය සහ ඉහළ කළමනාකරණය සමඟ හුවමාරු කරගත යුතුයි.

ඔබගේ ව්‍යාපාරයේ සුවිශේෂී අනාගත නායකයින් හඳුනා ගැනීම හා අනුප‍්‍රාප්තික සැලසුම්කරණය (Succession Planning) තුළින් ඔබට, ඔබ යටතේ සේවය කරන සේවකයින්ව අභිප්‍රේරණය කළ හැකියි. එය ඔවුන්ට වෘත්තීය ජීවිතයේ ජයග‍්‍රහණ ලබා ගැනීමටත්, ඔවුන්ගේ කුසලතා එළි දැක්වීමටත් මනා පිටිවහලක් වනු නියතයි.

Exit mobile version