spot_imgspot_img

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සම්පත් කළමනාකරණය ප්‍රශස්ත කිරිම

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රැකියා උත්පාදනය, නවෝත්පාදනය සහ සමස්ත ආර්ථික වර්ධනයට දායකවෙමින් ගෝලීය ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවක් දරයි. කෙසේ වෙතත්, මෙම ව්‍යවසායන් දැඩි තරඟකාරීත්වය මධ්‍යයේ දියුණු වීමට නම්, ඵලදායී ලෙස සම්පත් කළමනාකරණය ඉතා වැදගත් වේ. මෙහෙයුම් කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සහ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මූල්‍ය, මානව සහ තාක්‍ෂණික වත්කම් ඇතුළු විවිධ සම්පත් උපායමාර්ගිකව වෙන් කිරීම සහ භාවිතා කිරීම සම්පත් කළමනාකරණයට ඇතුළත් වේ. හොඳ සම්පත් කළමනාකරණ මූලධර්ම අනුගමනය කිරීමෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වර්තමාන ගතික සහ අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරය තුළ සාර්ථකත්වය සඳහා ස්ථානගත විය හැකිය. 

ඵලදායි ලෙස සම්පත් කළමනාකරණය පවත්වාගෙන යාම සාර්ථක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක් පවත්වාගෙන යාමට මූලික අංගයකි. ව්‍යාපාර මෙහෙයුම් සඳහා සහය වීමට සහ වර්ධනයට සහාය වීම සඳහා විවිධ සම්පත් ප්‍රවේශමෙන් සැලසුම් කිරීම, වෙන් කිරීම සහ භාවිතා කිරීම එයට ඇතුළත් වේ. මෙම සම්පත් මූල්‍ය ප්‍රාග්ධනය, මානව කුසලතා, තාක්‍ෂණය, උපකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන වෙනත් වත්කම් ඇතුළත් වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සන්දර්භය තුළ, කුඩා ව්‍යාපාර මුහුණ දෙන ආවේනික සම්පත් බාධාවන් හේතුවෙන් සම්පත් කළමනාකරණය වඩාත් තීරණාත්මක වේ. විශාල සමාගම් මෙන් නොව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බොහෝ විට මූල්‍ය සම්පත් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති අතර, ඒවායේ භාවිතය ප්‍රශස්ත කිරීම අවශ්‍ය වේ. එසේම ව්‍යවසායකයින් ලෙස සම්පත් කළමනාකරණයේ ඇති සුවිශේෂී අභියෝග සහ අවස්ථා අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඵලදායී සම්පත් කළමනාකරණ ක්‍රමෝපායන් වැලඳ ගැනීමෙන්, ඔබට ඔබේ සම්පත් වෙන් කිරීම ප්‍රශස්ත කිරීමට, ඵලදායිතාව ඉහළ නැංවීමට සහ ඔබේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අද තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ දිගු කාලීන සාර්ථකත්වය සඳහා ස්ථානගත කළ හැකිය.

එවැනි එක් ප්‍රමුඛ අභියෝගයක් ලෙස ‘මූල්‍ය සම්පත්’ දැක්විය හැකිය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ විට සීමා සහිත අයවැයක් සමඟ ක්‍රියාත්මක වන අතර, ඔබේ මූල්‍ය සම්පත් ප්‍රවේශමෙන් අදාළ ව්‍යාපාර කටයුතු සදහා වෙන් කිරීම සහ පාලනය කිරීම ඉතා වැදගත් වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ‘මානව සම්පත් සීමා’ තවත් වැදගත් අභියෝගයකි. විශේෂයෙන් ඔබට ආකර්ෂණීය වැටුප් පැකේජ සඳහා ඇති සම්පත් සීමිත විට, ඉහළ දක්ෂතා ඇති මානව සම්පත් ආකර්ශණය සඳහා විශාල සංවිධාන සමඟ තරඟ කිරීම අර්ථ විරහිත විය හැකිය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු ලෙස, මානව සම්පත් අභියෝග ජය ගැනීම සඳහා කුසලතා අත්පත් කර ගැනීම, සේවක රඳවා තබා ගැනීම සහ ධනාත්මක සේවා පරිසරයක් පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සම්පත් කළමනාකරණය සඳහා ‘තාක්ෂණික සීමාවන්’ ද අභියෝග කරයි. සීමිත අයවැය සහ විශේෂිත විශේෂඥ දැනුමේ ඌනතාවය උසස් තාක්ෂණයන් භාවිතා කිරීමට සහ භාවිතා කිරීමට ඔබට ඇති හැකියාවට බාධාවක් විය හැක. මෙම සම්පත් කළමනාකරණ අභියෝග නිසි ලෙස නියාමනය කිරිමට ක්‍රියාශීලී සහ උපාය මාර්ගික ප්‍රවේශයක් අවශ්‍ය වේ. මූල්‍ය කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ තාක්‍ෂණය තුළ ඔබ මුහුණ දෙන විශේෂිත බාධාවන් තේරුම් ගැනීම ඔබට ගැලපෙන විසඳුම් සංවර්ධනය කිරීමට උපකාරී වේ.

නව්‍ය උපාය මාර්ග වැලඳගැනීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ සම්පත් සීමාවන් ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි අතර මෙම ව්‍යවසායකයන් වර්ධනයට සහ තිරසාරත්වයට ගෙන යා හැකිය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ සම්පත් සීමාවන් කළමනාකරණය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ‘උපායමාර්ගික සැලසුම්කරණය’යි. ධාරිතාව සහ හැකියාව අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශාල සමාගම්වලට වඩා කුඩා වුවද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට උපායමාර්ගික සැලසුම් තිබිය හැකිය. මෙහිදී ව්‍යවසායකයන් කළ යුතු වන්නේ, පැහැදිලි ඉලක්ක තබා එම ඉලක්ක සමඟ සම්පත් වෙන් කිරීම සමපාත කිරීමයි. උපක්‍රමශීලීව හිඟ සම්පත් ඉතා වැදගත් සිට අවම වැදගත් කාර්යයන් සඳහා යෙදවිය යුතුය. මෙය ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට වඩාත්ම බලපෑමක් ඇති කරන සම්පත් භාවිතා කරන බව සහතික කරයි. මෙම ප්‍රයත්නය තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සම්පත් නාස්තිය ද අවම කළ හැකිය.

මූල්‍ය බාධාවන්ගේ බලපෑම අවම කිරීම සඳහා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ‘මූල්‍ය ප්‍රශස්තකරණය’ කළ හැකිය. තාත්වික අයවැයක් නිර්මාණය කිරීමෙන් සහ වියදම් නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ට ඔවුන්ගේ මූල්‍ය ප්‍රශස්තකරණය කළ හැකිය. වියදම් අවම කර ගැනීමට සහ අවශ්‍ය පරිදි ගැලපීම් කිරීමට අයවැය නිතිපතා සමාලෝචනය කිරිම කළ යුතුය. තවද ඔබේ ලාභයෙන් කොටසක් ව්‍යාපාරය තුළ නැවත ආයෝජනය කිරීමට පුරුදුවීම ද වැදගත් වේ. කාරක ප්‍රාග්ධන කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ. ඔබ කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමේදී සිරවී ඇත්නම්, ඔබේ මෙහෙයුම් වියදම් අයකර ගැනීම සඳහා ඔබට කුඩා ණය ලබා ගැනීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, එය සෞඛ්‍ය සම්පන්න ව්‍යාපාර මූල්‍යකරණ අදහසක් නොවේ. සෑම අවස්ථාවකදීම ව්‍යාපාරයක් එහි වගකීම්වලට සාපේක්ෂව වත්කම් වැඩි කිරීමේ ක්‍රම ගැන සිතා බැලිය යුතුය. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අනාගතය සුරක්ෂිත කරනු පිණිස දායක වනු ඇත. විකල්ප අරමුදල් සම්පාදන ක්‍රම සොයා ගැනීම සීමිත මූල්‍ය සම්පත් සමඟ සම්බන්ධ අභියෝගවලට අවම උපකාරී වේ. ඒන්ජල් ආයෝජකයින් (Angel Investors) සහ ව්‍යාපාර ධනපතියන් (Venture Capitalists) සම්ප්‍රදායික ණයවලට වඩා විකල්ප අරමුදල් සම්පාදන ක්‍රම සඳහා උදාහරණ වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුළ මානව කුසලතා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ‘මානව සම්පත සංවර්ධනය’ කළ යුතුය. ඒවා සංවර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පුහුණු වැඩසටහන් සඳහා ආයෝජනය කළ හැකි අතර කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවර්ධන අවස්ථා ලබා දිය හැකිය. ඔබ ආයතනය තුළ සිටින සේවක සංඛ්‍යාව කවර ගණනක් වුවද, සංවිධානය තුළ කාර්යයන් ඉටු කරන ආකාරය පිළිබඳව ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීම අතවශ්‍ය වේ. ව්‍යාපාරයේ එක් එක් කටයුතු පිළිබදව විශේෂීකරණය ලබා දෙනවාට වඩා, සෑම කටයුත්තක් පිළිබදවම සාමාන්‍ය අවබෝධය ලබා දීම මෙහෙයුම් කටයුතු පහසුවෙන් ගලා යෑම පහසු කරවන්නකි. තවද, ධනාත්මක වැඩ සංස්කෘතියක් පවත්වාගෙන යාම ද සේවයේ නියැලී සිටින සේවකයින්ගේ ඵලදායිතාව ඉහළ නංවන අතර දිගුකාලීන සාර්ථකත්වයට දායක වේ. 

තාක්‍ෂණය යනු ආයතනයකට තරඟකාරී වාසියකි. එය ක්ෂුද්‍ර මට්ටමේ සිට බහුජාතික මට්ටමේ ආයතන දක්වා විවිධ ප්‍රතිලාභ ලබා දෙයි. මේ අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අනුගමනය කළ හැකි මීළඟ උපක්‍රමය ‘තාක්‍ෂණ භාවිතය’ වේ. ඔබේ මෙහෙයුම් විධිමත් කළ හැකි තාක්ෂණික වර්ධනයන් පිළිබද දැනුම යාවත්කාලීන විය යුතුය. ස්වයංක්‍රීයකරණය සහ ක්ලවුඩ් කම්පියුටින් වැනි ඔබේ අවශ්‍යතා සමඟ සමපාත වන තාක්ෂණික විසඳුම් සඳහා ආයෝජනය කිරීම තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අමතර වාසි ලබා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස, මූලික ව්‍යාපාර ගිණුම් වාර්තා තැබීමට වෙනමම සේවකයෙකු බඳවා ගැනීමට වඩා Zoho, QuickBook වැනි මෘදුකාංග පැකේජ භාවිතා කළ හැකිය. එසේම ක්ලවුඩ් තාක්ෂණය මත පදනම් වූ දත්ත ගබඩා (cloud base stores) භාවිතා කිරීමෙන් ඔබට ව්‍යාපාරික දත්ත සමුදායන් ඉතා ඵලදායී ලෙස අඩු වියදමකින් කළමනාකරණය කළ හැක. දවස අවසානයේදී, ලාභදායී විසඳුම් ගවේෂණය කිරීම, බාහිර විශේෂඥතාව හෝ හවුල්කාරිත්වයන් සෙවීම සහ ඔබේ ව්‍යාපාර ඉලක්ක සමඟ සමපාත වන තාක්‍ෂණික ආයෝජනවලට ප්‍රමුඛත්වය දීම ඔබට තාක්‍ෂණික සීමාවන් මඟහරවා ගැනීමට සහ තරඟකාරී වාසියක් ලබා ගැනීමට උපකාරී වේ.

එපමනක් නොව, ‘සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය’ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීමට අනුගමනය කළ හැකි තවත් උපාය මාර්ගයකි. මෙහිදි, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙනත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හෝ උපායමාර්ගික හවුල්කරුවන් සමඟ සහයෝගීතාව ලබා ගත හැකිය. සම්පත් එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමෙන්, ඔබට විශාල වියදම් නොමැතිව අමතර සම්පත් වෙත ප්‍රවේශ විය හැකිය. ඉහත සියලු උපාය මාර්ග හැරුණු විට ආයතනික සම්පත් ‘අඛණ්ඩව වැඩිදියුණු කිරිම’ අත්‍යවශ්‍ය වේ. අඛණ්ඩ වැඩිදියුණු කිරීම සහතික කිරීම සඳහා, ව්‍යාපාර ඔවුන්ගේ සම්පත් කළමනාකරණ උපාය මාර්ග නිතිපතා ඇගයීමට ලක් කළ හැකි අතර සේවකයින්ගෙන් ප්‍රතිපෝෂණ රැස්කර ගත හැක. එක්රැස් කරන ලද තොරතුරු භාවිතා කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ක්‍රියාවලි ප්‍රශස්ත කිරීම සඳහා අවශ්‍ය ගැලපීම් කළ හැකිය.

සම්පත් කළමනාකරණය යනු නිරන්තර ඇගයීම, අනුවර්තනය සහ ශෝධනය අවශ්‍ය වන අඛණ්ඩ ක්‍රියාවලියක් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හඳුනා ගැනීම වැදගත් වේ. අවසාන වශයෙන්, ඵලදායි සම්පත් කළමනාකරණය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අභියෝග ජය ගැනීමට, ඵලදායිතාව උපරිම කිරීමට සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීම බල ගන්වයි. සම්පත් කළමනාකරණය සඳහා උපාය මාර්ගික සහ සාකල්‍ය ප්‍රවේශයක් සමඟින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදාළ කර්මාන්තවල දියුණුවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. 


මෙම අන්තර්ගතය CeFEnI/COSME විසින් පහසුකම් සපයන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කෝට්ටේ විසින් සකස් කරන ලදී.

Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X