spot_imgspot_img

ඔබ තුළත් නායකයෙක් සිටියි ද?

Source: https://ylhsthewrangler.com/13818/features/what-does-being-a-leader-mean/

කුඩා කල සිටම ඔබව දිරිමත් කළ, ඔබ විසින් අනුගමනය කරන්නට යෙදුණු සහ ඔබ විසින් කෙදිනක හෝ ‘මෙවන්’ අයෙකු වෙමි යි යනුවෙන් අදිටන් කළ නායකයින් සිටිනවාද? බොහෝ දෙනෙකුගේ පිළිතුර “ඔව්”. ඉතින් එසේ නම් ඔබ ඔබගේ ඒ සිහිනය මල් ඵල ගන්වන්නට කල් දමන්නේ මන්ද? ‘නායකයින්’ ලෙස පිළිගත් පුද්ගලයන්ට පොදු වූ පෞරුෂ ලක්ෂණ තිබෙන බව සෑම දෙනෙකුම පාහේ දන්නා කරුණක්. ඔබ ඔබ තුළින්ම පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ නම්, ඔබ කෙරේ පවතිනා නායකත්ව ලක්ෂණ කවරේද යන්න ඔබටම තීරණය කළ හැකියි. ඉන් අනතුරුව, ඔබ තුළ නොමැති, එහෙත් ඔබට අවැසි ගුණාංග ඇත්නම් ඒවා වර්ධනය කරගැනීමටද හැකියි.

පළමුව උපක්‍රමශීලී නව්‍ය අදහස් වලින් සමන්විත වන්න. 

කාලය නිසි ලෙස හසුරවාගනිමින් ඔබ අවට සිටින්නන්ට වඩා ඉදිරියෙන් සිටීම නායකයෙකු ලෙස සාර්ථක වීමට ඉතා වැදගත් කරුණකි. එමෙන්ම, ඔබට ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන අභියෝගයන් මෙන්ම, ඔබට හිමිවිය හැකි වාසිදායක අවස්ථාවන්ද හොඳින්, කල්තියා හඳුනාගැනීමට ඔබට හැකියාව තිබිය යුතුයි. එපමණක් නොව,ඔබ ගන්නා තීන්දු තීරණ නිවැරදි වේලාවට, නවමු චින්තනයකින්  යුතුව, නිර්මාණශීලී ලෙස ගත යුතුයි. එසේම, ඉහතකී අන්දමේ තීරණ මඟින්, ඔබගේ ගැටළුවට කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ප්‍රතිඵල ලැබිය යුතුයි. මෙම ලක්ෂණය, ඔබට ජීවිතයේ හමුවන ඕනෑම නායකයෙකුගෙන් හඳුනා ගන්නට පුළුවන්. එම නිසා ඔබත් උපක‍්‍රමශීලීව සිතන්න. ඒ අනුව නිවැරදි, කාලීන තීරණ ගන්න.

දෙවනුව, ඔබේ දැක්ම (Vision) ඔබේ කණ්ඩායම සමඟ බෙදා ගන්න.

නායකයෙක් ලෙසින් ඔබ ගන්නා තීරණ පිලිබඳව ඔබගේ කණ්ඩායම දැනුම්වත් වීම ඉතා වැදගත් වේ. ඔබේ දැක්ම ඔවුන් සමඟ බෙදා ගැනීම ඔබේ වගකීමකි. ඔබේ නායකත්වය හරහා කණ්ඩායම දිරි ගැන්වීමට නම්, ඔබට හොඳ සන්නිවේදන හැකියාවක් පැවතිය යුතුයි. සන්නිවේදන ක‍්‍රියාවලිය, සෑම විටම ඒකානතියකට (one way communication) පමණක් සිදු වන්නක් නොවේ. තමන් ගනු ලබන තීරණවලදී, තමන්ගේ අනුගාමිකයන්ට, එසේත් නැතිනම් කණ්ඩායමට හැකි තරම් ඇහුම්කන් දෙමින්, ඔවුන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීම ඉතා වැදගත් වේ. ද්විමාර්ගික සන්නිවේදන ක‍්‍රියාවලියක් (two way communication) හරහා මෙය ඉතා පහසුවෙන් කරගත හැකියි.

දැන්, ඔබේ කණ්ඩායමට, ඔබේ දැක්ම ගැන අවබෝධයක් තිබෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය අරමුණ කරා යාමට ප්‍රමාණවත් දිරිගැන්වීමක් ඔබෙන් ලැබෙනවාද?

ඔබේ අනුගාමිකයන් ඔබ ගැන සහ ඔබේ තීරණ ගැන විශ්වාස කිරීම ඉතාම වැදගත්. එම නිසා, ඔවුන් ඔබගේ අදහස් වලට ඇහුම්කන් දෙනවාදැයි යන්න ඔබ සිතා  බැලිය යුතු කරුණක්. එමෙන්ම, ආත්ම විශ්වාසයක් සහිත ධනාත්මක ආකල්ප ඇති අයෙක් ලෙස අනෙක් අය අතර ඔබට පිළිගැනීමක් තිබෙනවාද? ඔබව අනෙක් අය දකින්නේ, කිසිවකින් පසු නොබසින උට්ථාන වීර්‍යයෙන් ඉදිරියටම යන අයෙක් ලෙසද? තත්ත්වය එහෙම නම්, ඔවුන් හදවතින්ම ඔබව අනුගමනය කරනු ඇති. කෙසේ වෙතත්, ඔබේ තීරණ හා ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ඔබට වගකීම භාර ගැනීමට සිදු වනවා.

ඔබ අව්‍යාජ, අවංක පුද්ගලයෙක් විය යුතුයි.

විශිෂ්ට නායකයෙක් වීමට අවැසි නම්, ඔබ මුලින්ම තවත් අයෙකුට ඔබව අනුගමනය කරන්නට සිතෙන ආකාරයේ පුද්ගලයෙක් විය යුතුයි. ඒ සඳහා අත්‍යවශ්‍යම දෙයක් වන්නේ, ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමයි. ඒ සඳහා, ඔබගේ ක‍්‍රියාව හා හැසිරීම එයට ගැළපෙන පරිදි, නොවෙනස්ව පවත්වා ගත යුතුයි. ඔබ ඔබේ කණ්ඩායමේ විශ්වාසය බලාපොරොත්තු වීමට පෙර, ඔබ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම්ද යන්නත්, අභියෝග හමුවේ ඔබ ඔවුන් අත් නොහැර සිටිනවාද යන්නත් සිතා බලන්න. එමෙන්ම, ඔබ ඉතා සාධාරණව තීන්දු තීරණ ගත යුතුයි. මෙවන් කටයුතු වලින් ඔබට අපක්ෂපාතී නායකයෙක් ලෙස ඔබේ කණ්ඩායම සතුටින් තබාගෙන, ඔවුන්ව නිවැරදි ඉලක්ක කරා මෙහෙය වීමට හැකියාව ලැබෙනවා. සරලවම, අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සලකන්න.

අවසාන වශයෙන්, ඔබේ තෙවැනි ඇස විවර කර තබා ගන්න.

නායකයෙකු ලෙස ඔබගේ අනුගාමිකයින්ව දියුණු කරවීම ඔබගේ ප්‍රධානම වගකීමකි. ඔබගේ ‘තෙවැනි ඇස’ නිවැරදිව යොදා ගැනීම හරහා ඔබට මේ කාර්යය හොඳින් කළ හැකියි. හැම අවස්ථාවකදීම ඔබගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවන් පිළිබඳව අවබෝධයකින් යුතුව සිටින්න. යම් අවස්ථාවලදී ඔබගේ අදහසට වඩා නිර්මාණශීලි අදහස් හා මත ඔබේ අනුගාමිකයන් වෙතින් හඳුනා ගන්නට පුළුවන්. එම නිසා, එවන් දක්ෂතාවන් හඳුනාගෙන එයින් ප‍්‍රයෝජන ගන්න. සෑම අවස්ථාවකම ඔබේ කණ්ඩායම ගැන විශ්වාසය තබන්න! අන්‍යයන්ව බලගන්වන, ධෛර්මත් කරන නායකයෙක් (empowering leader) වීමට ඔබත් කැමති නම්, ස්ටීවන් කොවේ (Stephen Covey) විසින් රචිත “8 වැනි පුරුද්ද: සඵලතාවේ සිට විශිෂ්ටත්වය දක්වා (The 8th Habit: From Effectiveness to Greatness)” ග්‍රන්ථය කියවා බලන්න.

ඔබට මේ ගති ලක්ෂණ ඔබ තුළ ඇති කර ගන්න එක අමාරුද? කිසිසේත්ම නැහැ. ඉතින්, ඉක්මනින්ම මේ පියවර අනුගමනය කර ඔබේ කණ්ඩායමට සතුටින් වැඩ කිරීමට අවකාශ සලසමින්, ඔබේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේ අරමුණුද සාර්ථක කරගන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X