spot_imgspot_img

මීළඟ “ස්ටීව් ජොබ්ස්” ඔබ ද?

“මෙම ක්ෂේත්‍රයේ සැබැවින්ම යම් වෙනසක් කිරීමට හැකි දෑ නිර්මාණය කරන්නෙකු තුළ චින්තකයෙකු පමණක් නොව, ක්‍රියාත්මක කරන්නෙකුද සිටී.”

ස්ටීව් ජොබ්ස්

ඔබ චින්තකයෙකු මෙන්ම ක්‍රියාකාරියෙකුද වීමට සිහින දකිනවාද? මීළඟ විප්ලවීය ව්‍යවසායකයා වීමට ඔබට අවශ්‍ය කරන්නේ කුමක්ද? ඔබ හොඳින් දන්නා සාර්ථක ව්‍යවසායකයන් කිහිපදෙනෙකු ගැන සිතා බලන්න. ඔවුන්ට සාර්ථකත්වයේ හිනි පෙත්තට නැඟීමට හැකිවූයේ කෙලෙසද? පුද්ගලයෙකුගේ පෞරුෂ ලක්ෂණ (personality traits), ඔහුගේ හෝ ඇයගේ ව්‍යවසායකත්ව හැකියාව තීරණය කිරීමෙහිලා විශාල බලපෑමක් ඇති කරයි. එසේනම්, සාර්ථක ව්‍යවසායකයෙකු වීම සඳහා අප තුළ වර්ධනය කර ගත යුතු මූලික ලක්ෂණ මොනවාදැයි බලමු.

ඔබට දැක්මක් තිබෙනවාද?

ඔබගේම ව්‍යාපාරයක් ගොඩනඟා ගනු වස් සැලකිය යුතු කාලයක්, ශ‍්‍රම කැප කිරීමක් හා ඉතා සැලකිළිමත්ව කළ යුතු තක්සේරුවක් ද අවැසි වේ. ව්‍යාපාරය ආරම්භයේදී කුමනාකාරයේ ගැටලුවලට මුහුණ පෑමට සිදුවේද යන කාරණයත්, ඒවා විසඳා ගන්නා ආකාර ගැනත් යනාදී සෑම කාරණයක් පිළිබඳව ගැඹුරෙන් සොයා බැලීම ඔබට අපහසි වනු ඇත. නමුත් ඔබට පැහැදිලි දැක්මක් ඇත්නම්, ව්‍යාපාරය කරගෙන යාමේදී මතුවෙන ගැටළුවලට ක‍්‍රමක‍්‍රමයෙන් විසඳුම් සොයා ගැනීම අපහසු නොවනු ඇත.

ආත්ම විශ්වාසය, කැපවීම, අභිප්‍රේරණය සහ උද්‍යෝගය (Self-confidence, Commitments,  Motivation, Passion)

යම් කාර්‍යයක් සාර්ථකව අවසන් කිරීමෙහිලා ඔබට ඔබ කෙරේ විශ්වාසයක් නොමැතිනම්, වෙනත් අයෙකු ඔබේ හැකියාව ගැන විශ්වාස කරනු ඇතැයි සිතීම උගහටය. ආත්ම විශ්වාසය යනු ව්‍යවසායකයෙකු හට අත්‍යවශ්‍යම ගුණාංගයකි. ඔබ සතුව දැඩි ආත්ම විශ්වාසයක් ඇතිනම් ඔබට අවැසි ශක්තීන් වන කැපවීම, අභිප්‍රේරණය නොහොත් පෙළඹවීම (Motivation) සහ උද්‍යෝගය නිසියාකාරව පාලනය කරගනිමින් ඒවායේ  උපරිම ප්‍රයෝජන ලබාගැනීම ඉතාමත් පහසු වනු ඇත.

ඔබ අවදානම් භාර ගැනීමට සූදානම් ද?

නව ව්‍යාපාරයක් යනු එක්තරා ලෙසකින් ‘සූදුවකි’. පැකිළීමකින් තොරව මෙම ‘සූදුව’ තුළ පැන නඟින අභියෝග වලට මුහුණ දීම හොඳ ව්‍යවසායකයකුගේ ලක්ෂණයක් වේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු, හොඳින් සිතාබලා, තෝරාගත් අවදානම් වලට ක්‍රමවත්ව සහ සැලසුම් සහගතව මුහුණ දීමකි. ඒ සඳහා ඔබට මනා අධ්‍යයනයකින් පසු තෝරාගත් අවදානම් (Calculated Risks) අවබෝධ කරගැනීමට හා ඔබ ගන්නා තීරණවල ධනාත්මක හා ඍණාත්මක බලපෑම් පිළිබඳව තක්සේරු කරගැනීමට හැකියාව තිබිය යුතුය.

ඔබේ සන්නිවේදන හැකියාව කෙසේද?

අනෙකුත් ඕනෑම සබඳතාවයකදී මෙන්ම ව්‍යාපාරික සබඳතාවකදීත්, සන්නිවේදනය යනු ඉතා වැදගත් සාධකයකි. ඔබ කෙතරම් සඵලදායීව  ඔබගේ කාර්ය මණ්ඩලය,ආයෝජකයින් සහ ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කරනවාද යන්න මත ඔබ, ඔබේ ව්‍යාපාරය හසුරුවනු ලබන ආකාරය මෙන්ම, අන්‍යයන් ඔබේ ව්‍යාපාරය දකින ආකාරයද රඳා පවතී. මන්ද යත්,ඔබගේ කණ්ඩායමට නිසියාකාරව තම කාර්‍ය්‍යන් ඉටුකළ හැක්කේ ඒ පිළිබඳව නිවැරදි අදහසක් ලැබුණහොත් පමණක් වන බැවිනි. සන්නිවේදනය සෑමවිටම ද්විමාර්ගික විය යුතු බවත් මතක තබාගත යුතු කරුණකි. ඔබ පවසන දෑ මෙන්ම ඔබගේ කණ්ඩායම හෝ පාරිභෝගිකයා පවසන දේත් එකසේ වැදගත් වේ.

ඔබගේ ‘හැඩගැසීමේ’ හැකියාව කෙබඳු ද?

ව්‍යාපාරික ලොව සිදුවීම් පිළිබඳ අනාවැකි කීම සෑමවිටකම සාර්ථක නොවේ. කිසි සේත් බලාපොරොත්තු නොවූ විරූ දෑ හෙට දිනයේ සිදු විය හැක. එවන් අවස්ථාවන්හිදී ඊට අනුරූපව තීරණ ගැනීමට ඔබහට සිදුවනු ඇත. එනයින්, විශක්ෂණශීලීව සහ අවස්ථානුකූලව ඒවාට හැඩගැසීමට ඇති හැකියාව ව්‍යවසායකයෙකු හට ඉතාමත් වැදගත් ගුණාංගයකි.

පෙළඹවීම,  සාකච්ඡා කිරීමේ කුසලතා, මුදල් කළමනාකරණය සහ ඵලදායී පුද්ගල සබඳතා

අහම්බෙන් නෙත ගැටුණු වෙළඳ දැන්වීමක දුටු, ඔබ කෙදිනක හෝ භාවිතා කර නොමැති, කිසිදිනෙක අවැසි නොවුණු ඇත්තෙන්ම ඔබට අවැසි ද නොවන භාණ්ඩයක් හෝ සේවාවක්, එම වෙළඳ දැන්වීම අවසන් වන්නටත් මත්තෙන් එය ලබාගන්නේ කෙසේ දැයි සිතුණු අවස්ථාවන් සිහිගැන්විය හැකිද? එවන් පෙළඹවීමේ හැකියාවක් දියුණු කිරීම ව්‍යවසායකයෙකු ලෙසට ඔබහටද වැදගත් වන කරුණකි. එමෙන්ම සාකච්ඡා කිරීමේ කුසලතා (Negotiation Skills) ද ඒ හා සමානව වැදගත් වේ.

මෙම හැකියාවන්, පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී පමණක් නොව ආයෝජකයින් වැනි අනෙකුත් ඕනෑම පාර්ශ්වකරුවෙක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීද, ඔබට ඇති වඩාත්ම වාසිදායක අවස්ථාව උදා කර ගැනීමට උපකාරී වනු ඇත.

මුදල් කළමනාකරණය යනු ව්‍යවසායකයෙකුට පමණක් නොව ඕනෑම අයෙකුට අතිශයින් වැදගත් වන කරුණකි. ඔබේ වියදම් සහ ඔබේ ව්‍යාපාරයේ වියදම් මනාව කළමනාකරණය කිරීම, ඔබ විසින් කළ යුතුම දෙයකි.

පුද්ගල සබඳතා ගොඩනඟාගැනීමත්, එවැනිම ඉතා වැදගත් දෙයකි. එමගින් ඔබට වටිනා පුද්ගලයින්  හා සබඳතා ගොඩනඟා ගැනීමටත්, ඒ සබඳතා නිසියාකාරව යොදා ගැනීමෙන් ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතුවන වෙළෙඳපොල තොරතුරු දැනගැනීමටත්, ඔබේ ව්‍යාපාරය වඩාත් පුළුල් කිරීමටත්, අවස්ථා උදා කරගත හැක.

ඔබ අසාර්ථක වුවහොත්?

ව්‍යාපාරයකදී සාමාන්‍යයෙන් ලාභ මෙන්ම අලාභ ද විඳීමට සිදුවන බව අප වටහා ගත යුතුය. නමුත්, වැදගත්ම දෙය වන්නේ, එසේ පාඩු ලබන අවස්ථාවලදී ව්‍යාපාරය අත් නොහැරීමයි. හොඳ ව්‍යවසායකයෙකුගේ ශබ්දකෝෂයේ “අසාර්ථකත්වය” යන වචනය තිබිය නොහැක. ගැටලුකාරී අවස්ථාවලදී කළ යුත්තේ, කලබලයකින් තොරව තමා විසින් ගත යුතු ඊළඟ පියවර පිළිබඳ සිතා බැලීමයි. කෙටිකාලීන ලාභ සහ අරමුණු මත රඳා පැවතීම සාර්ථක ක‍්‍රියාවක් නොවේ. ව්‍යාපාරයකින් ඔබට ලාභ ලැබීමට සැලකිය යුතු කලක් ගතවේ. එම නිසා ඉවසීමෙන් කටයුතු කළහොත් නිසි කලට ඔබගේ වෙහෙසෙහි අස්වැන්න ඔබට ලැබෙනු ඇත.

අවසාන වශයෙන් ඔබ ඔබ තුළ සිටින නායකයා හඳුනාගන්න.

 “ඔබ නායකයෙක්ද?” යන පැණය ව්‍යාපාරික ලෝකයේ නිරතුරුව නැඟෙන්නකි. එහි සැබෑම තේරුම ඔබ කෙදිනක හෝ සිතා බලා තිබේද? සැබැවින්ම නායකත්වය යනු අප ඉහත දක්වන්නට යෙදුණු ගුණාංග වල එකතුවකි. අවදානම් වලට මුහුණ දෙමින්, තමා සතු සම්පත් උපරිමයෙන් යොදාගනිමින් තම ව්‍යාපාරය අපේක්ෂිත තලයට ගෙනයාමේ විභවයක් ඇති පුද්ගලයෙකු ‘දුරදර්ශී නායකයෙක්’ ලෙස හැඳින්විය හැක.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X