spot_imgspot_img

ඔබ ව්‍යාපාරයක් මිල දී ගැනීමට සැලසුම් කරනවා ද?

වෙනත් පුද්ගලයෙක් යටතේ වැඩ කිරීමට සිදු වීම ගැන ඔබ සිටිනුයේ අකමැත්තෙන් ද? ඔබේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කළ හැකි නිශ්චිත ඉලක්කගත පාරිභෝගික පිරිසක් හා ඒ සඳහා අවශ්‍ය අවස්ථාවක් හා හැකියාවක් (විභවයක්) ඇත්නම්, නිසැක වශයෙන් ම ඔබට ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත් මේ සියල්ලට පෙර එකී ව්‍යාපාරය තුළ ඔබේ අරමුණ හා අනාගත දැක්ම පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුය. තමා ව්‍යාපාරයක් මිල දී ගන්නේ පූර්ණ කාලීන රැකියාවක් ලෙස ද, අර්ධ කාලීන ආයෝජනයක් ලෙස ද නැතහොත් එය තමන්ගේ ම ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරනවාද යන්න තීරණය කිරීම වැදගත් වන්නේ මේ නිසාවෙනි. එසේම මේ තුළින් ඔබේ ව්‍යාපාරය උදෙසා දරන වෑයමේ අනාගත ප්‍රතිඵල තීරණය වන බව සිහි තබාගත යුතුය.

ව්‍යවසායකත්වය පිළිබඳ වූ සංස්කෘතියට (Culture) හැඩ ගැසීම තුළ, ඔබ ගත යුතු තීරණ රාශියක් ඇත. ඇතැමෙකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී මෙවන් ව්‍යවසායකත්ව අභියෝගවලට (entrepreneurial challenge) මුහුණ දීම තරමක් අපහසු වනු ඇත. එමෙන් ම අර්ධ කාලීන ව්‍යවසායකයන් වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඒ සදහා කැමැත්තක් දක්වන්නේ ව්‍යාපාරයේ පාලනය ඒ තුළින්ම සිදු වන නිසාවෙනි.  එම නිසා පෙර කී දෙවර්ගයට ම අයත් වන්නන්ට දැනටමත් ස්ථාපිත ව්‍යාපාරයක් මිල දී ගැනීම වඩාත් කදිම විසඳුමක් වනු ඇත.

පැහැදිලිව ම, ඔබ මිල දී ගැනීමට බලාපොරොත්තු වෙන ව්‍යාපාරයේ වත්මන් මූල්‍ය තත්වය හා පවතින වෙළෙඳ අවස්ථා ගැන නිසි අවබෝධයකින් තොරව මිල දී ගැනීම නොකළ යුතුයි.(ඔබ ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කළ ද, වෙළෙඳපොළ ගවේෂණ කිරීම මෙන්ම ඉපයීම්වල අනාගත වර්ධන තත්වය කලින් ගණනය කළ හැකි ද යන්න තීරණය කිරීම අත්‍යවශ්‍යය වේ.) මෙහි දී ව්‍යාපාරය තක්සේරුකරණය අතිශය වැදගත් ය. ඔබ ව්‍යාපාරයක් මිල දී ගැනීමේ දී හා තෝරා ගැනීමේ දී තමා සම්බන්ධව විශ්වාස තිබීම ඉතා යහපත් කරුණක් වුවද මෙහි දී විශේෂඥ උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍යයි.

මීට අවශ්‍ය තීරණ ගැනීමේ දී නිවැරදි ක්‍රමෝපායන්ට යොමු වීමට මග පෙන්වන පාර්ශව කිහිපයක් සිටින අතර ඉන් කිහිප දෙනකු ලෙස නීතිඥයන්, ගණකාධිකාරීවරුන්, බැංකුකරුවන් සහ වෙනත් ව්‍යාපාර හිමිකරුවන් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස, ඔබ නීතිඥයෙකුගෙන් උපදෙස් ලබා ගන්නේ නම්, කල් බදු (lease) පිළිබඳ හොඳ නරක විමර්ශනය කිරීමට ඔහුගෙන් හෝ ඇයගෙන් උපකාර ලබා ගත හැක. වත්කම් සැලසුම්කරුවන් (Personal Wealth Planners) වැනි පුද්ගලයින්ගෙන් යම් කිසි ව්‍යාපාරයක කොටස් හෝ වත්කම් මිලදී ගත හැකිද යන්න පිළිබඳ උපදේශන ලබා ගත හැකියි. ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් බැංකු ණයක් ලබා ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට බැංකු නිලධාරීන් ගේ සහය ලබා ගත හැකිය. එම නිසා එවැනි අවස්ථාවලදී නොපැකිලව ඔවුන්ගේ උපදේශන සහය පතන්න.

ඔබ යම් මුදලක් ඉතිරි කර නොමැති නම් හෝ ආපසු ගෙවීමට ක‍්‍රමයක් නොමැති නම්  කොටස් අරමුදල් මූලාශ‍්‍රයක් කොට ගෙන ලබා ගන්නා වූ ණය මුදල් ව්‍යාපාරික සැලසුම් අසාර්ථක වුවහොත් එහි හානි පියවා ගැනීමට යොදා ගැනීම නුසුදුසුය. එවන් අවස්ථාවලදී යොදා ගැනීමට වඩාත් සුදුසු වන්නේ, අත්පිට මුදල් හෝ කෙටි කාලයක් තුළ මුදල් බවට පත් කළ හැකි වත්කම් (liquid assets). මේ තුළින්  ව්‍යාපාරයේ මූල්‍ය තිරසාරභාවය පිළිබඳ තීරණවලට ඔබව යොමු කිරීමක් සිදු වෙනවා. නව ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත් විට සෑම විටම යම් ආකාරයක මූල්‍ය සම්පාදන විධික‍්‍රමයක් සම්බන්ධ වේ. ඔබ නව ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී යොදවන මූලික ප‍්‍රාග්ධනයට අමතරව එහි දෛනික මෙහෙයුම් සඳහා වැය වන මෙහෙයුම් ප‍්‍රාග්ධන (Operating Capital) පිළිබඳ වෙනසද හොඳින් වටහා ගත යුතුයි.

ගැනුම්කරු විසින් විකිණුම්කරුගේ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් අදාළ වාර්තා හොඳින් පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්. මෙහි දී  ඔබ විසින් පරීක්ෂා කළ යුතු දෑ පහත පරිදි දැක්විය හැකියි.

  • ශේෂ පත්‍ර
  • ලාභ හා අලාභ ප්‍රකාශ
  • වෙනත් ගිණුම්
  • උපයෝගීතා බිල්පත්
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛන
  • ව්‍යාපාරයේ ස්වභාවයට අදාළ බලපත්‍ර
  • ලබාගෙන ඇති ණය පහසුකම්

ඔබ සෑම දෙයක් සම්බන්ධව ම ප්‍රවීණ අයෙක් නොවන නිසා මේ විශ්ලේෂණ කටයුතු සඳහා වෘත්තීය සහය ලබා ගැනීම ඉතා වැදගත්. ඉහත සඳහන් සියලු ම ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව,  අපේක්ෂිත ශුද්ධ ආදායම තීරණය කිරීමේ  හැකියාව ඔබට හිමි වේ. මෙහි දී  ව්‍යාපාර ක්‍රියාකාරිත්වය පුළුල් කිරීමට, පිරිවැය අඩු කිරීමට මෙන්ම  ලාභ වැඩි කිරීමට ඇති හැකියාව ද සලකා බැලිය යුතුයි. මේ තුළින් යම් කිසි ව්‍යාපාරයක් මිල දී ගැනීම සුදුසු ද යන්න තීරණය කළ හැකියි. ඉහත සඳහන් තොරතුරු හා සංඛ්‍යාලේඛන පිළිබඳ ව හොඳින් විමසා බලන්නේ නම් ඔබේ ව්‍යාපාර මිල දී ගැනීමේ කටයුත්ත සාර්ථකව ඉටු කර ගත ගන්න හැකියාව ලැබෙනවා.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X