spot_imgspot_img

ද්‍රවශීලතාව යනු කුමක්ද?

සරලව කිවහොත්, ද්‍රවශීලතාවය යනු ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය සහ ඔබ සතුව ඇති අනෙකුත් වත්කම් මුදල් බවට පරිවර්තනය කිරීමේ පහසුවයි. වෙළඳපොල සහ වත්කමෙහි ස්වභාවය අනුව එක් එක් වත්කම් සඳහා විවිධ වූ ද්‍රවශීලතා මට්ටම් නිර්ණය කළ හැක. ඔබ සිතනා අන්දමට ආර්ථිකය තුළ ඇති වඩාත්ම ද්‍රවශිල වත්කම කුමක් ද? ලොව ඇති වඩාම ද්‍රවශීල වත්කම වනුයේ මුදල් ය.

මීළඟට වඩාත් ඉක්මණින් මුදල් බවට පරිවර්තනය කළ හැක්කේ බැංකුවේ තැන්පත් කර ඇති මුදල් වේ.

කෙසේවතුදු ඉඩකඩම් වැනි වත්කම් සාපේක්ෂව මුදල් බවට හැරවීම මඳක් අපහසුය. ඒ වෙනුවෙන් අපහට දැන්වීම් පළ කිරීමට, ගැනුම්කරුවන් සෙවීම හෝ ඒ වෙනුවෙන් තැරැව්කරුවන් යෙදවීමට සිදුවනු ඇත. ඔබ සතුව පවතිනා කෞතුක භාණ්ඩයක් ගැන සිතන්න. එය විකුණා, මුදල් බවට පත්කරගැනීම කෙතර්ම නම් අපහසුද? එසේ ගත් කළ, විවිධ වූ වත්කම් වල ද්‍රවශීලතාවයද විවිධාකාර බව ඔබට වැටහෙනු ඇත.

ද්‍රවශීලතාව වැදගත් වනුයේ ඇයි?

ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා මෙහෙයුම් වල සිට හදිසි අවශ්‍යතාවයන් දක්වා වියදම් වෙනුවෙන් ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගැනීම ඉතාමත් ම වැදගත් වේ. ඔබ සතුව පැවති සියළුම ද්‍රවශීල මුදල් වියදම් කොට ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර මිලදී ගත්තේ යැයි මොහොතකට සිතන්න. ව්‍යාපාරයෙන් ලාභය ලෙස මුදල් ලැබෙන තුරු ඔබ කරන්නට අදහස් කරනේ කුමක්ද? දෛනික විය හියදම් කළමනාකරණය කරගන්නේ කෙසේද? සේවක වැටුප් ගෙවන්නේ කෙසේද? ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම ඔබට තවත් හොඳින් වැටහෙනු ඇත.

ද්‍රවශීලතා මට්ටම් තීරණය කරන්නේ කෙසේද?

ද්‍රවශීල මුදල් පමණක් ඔබ ව්‍යාපාරය සතුව තබා ගැනීමෙන් කළ හැක්කේ කුමක්ද? ඔබට මූල්‍යමය නොවන වත්කම් ද අවැසි වනු ඇත. එසේ නම් ව්‍යාපාරයකට වඩාත් ම ඔබින ද්‍රවශීලතාවය තිරණය කරන්නේ කෙසේද? ද්‍රවශීලතා අනුපාත වැදගත් වනුයේ මෙවන් අවස්ථාවන්හිදී වේ. ඒවායේ ආධාරයෙන්, ඔබගේ ව්‍යාපාරයේ රඳා පැවැත්ම හඳුනා ගත හැකි වනු ඇත. මෙම අනුපාතයන් පහත ආකාරයට වර්ගීකරණය කළ හැක.

  • ජංගම අනුපාතය
  • ක්ෂණික අනුපාතය
  • මෙහෙයුම් මුදල් ප්‍රවාහ අනුපාතය

ජංගම අනුපාතය යනු, ව්‍යාපාරයෙහි ජංගම වත්කම් සහ ජංගම බැරකම් අතර ඇති අනුපාතයයි.

ජංගම අනුපාතය = ජංගම වත්කම් වල වටිනාකම/ ජංගම බැරකම් වල වටිනාකම.

මෙම අනුපාතයෙන් මනිනු ලබන්නේ, ව්‍යාපාරය සතුව පවතින වත්කම් මඟින්  කෙටිකාලීන බැරකම් (වසරකට නොවැඩි) පියවීමට ඇති හැකියාවයි. Investopedia වෙබ් අඩවියට අනුව ජංගම වත්කම් යනු සම්මත ව්‍යාපාර මෙහෙයුම් හරහා පහසුවෙන් විකිණීමට, පරිභෝජනයට, භාවිතා කිරීමට හෝ අවසන් කිරීමට අපේක්ෂා කරන සමාගමක සියලුම වත්කම් ලෙස අර්ථ දක්වන අතර, එමඟින් ඉදිරි වසරක කාලය තුළ ඒවා මුදල් වටිනාකමකට පරිවර්තනය වීමට සහ ජංගම වගකීම් යනු වසරක් ඇතුළත හෝ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රයක් තුළ ගෙවීමට නියමිත සමාගමක කෙටි කාලීන මූල්‍ය බැඳීම් වේ.

මීළඟ අනුපාත වර්ගය වනුයේ ක්ෂණික අනුපාතයයි. Acid Test Ratio ලෙසින් ද මෙය හඳුන්වනු ලබයි. මින් නිර්ණය කරන්නේ ආයතනයක කෙටි කාලීන ද්‍රවශීලතා මට්ටමයි. එනම්, ඔබ සතු මුදල් සහ ඒ හා සමාන වටිනාකම් සමඟ ජංගම බැරකම් අතර ඇති අනුපාතයයි.

ක්ෂණික අනුපාතය = මුදල් + අලෙවි කළහැකි සුරැකුම්පත් / ජංගම බැරකම්

ඉහතකී නිර්ණායක කවරේ දැයි ඔබ වික්ෂිප්ත වූයේ නම්, අන්තර්ජාලයේ මඳක් සොයා බලන්න. මෙම සමීකරණයේ අගය 1ට වැඩි නම් එය සාධනීය ද්‍රවශීල මට්ටම ලෙස හැඳින්වේ.

අවසන් අනුපාතය වනුයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහ අනුපාතයයි. එහි නමින් ම ඒ පිළිබඳව අදහසක් ගෙන එයි. ව්‍යාපාරයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහයන් පමණක් යොදාගනිමින් එහි ජංගම බැරකම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න මින් පැහැදිලි කරයි.

මෙහෙයුම් මුදල් ප්‍රවාහ අනුපාතය = මෙහෙයුම් මුදල් ප්‍රවාහය /  ජංගම බැරකම්

මෙම අවස්ථාවේදී ද සමීකරණයේ අගය 1ට වැඩි නම් එය සාධනීය මට්ටමක් ලෙස සැලකිය හැක. ඉහතකී අවස්ථා තුනම සැලකීමේදී, අප විසින් මනින්නට උත්සාහ කරනුයේ අපගේ වත්කම් භාවිතා කරමින් බැරකම් නිරවුල් කරන්නේ කෙසේද යන්න බව ඔබට වැටහෙනු ඇත. එමනිසා, මුදල් වශයෙන් පවතිනා වත්කම් වලින් අමතර ආදායමක් උපයනු නොලබන නිසා, අතිරික්ත ද්‍රවශීලතාවයක් පවත්වාගැනීම ඔබගේ ව්‍යාපාරයට වාසිදායක තත්ත්වයක් ඇති නොකරයි. එනයින්, හුදෙක් ද්‍රවශීලතාව පවත්‍වාගෙන යාමට අතිරික්ත මුදල් තබාගැනීම වෙනුවට ඒවා වත්කම් වල හෝ ලාභ උපයන යාන්ත්‍රණයන් හි ආයෝජනය කිරීම වඩා වැදගත් වේ. ද්‍රවශීල කළමනාකරණ කලාව ප්‍රගුණ කළහොත්, ඔබ කිසිදා ඒ ගැන පසු නොතැවෙනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X