spot_imgspot_img

දේශීය වශයෙන් දියුණු විය යුතු කර්මාන්ත මොනවාද?

ආර්ථික වර්ධනය සලකා බැලීමේදී, කාර්මිකකරණය යනු ආර්ථිකයක ප්‍රධාන අංගයකි. පර්යේෂණවලට අනුව, කාර්මික අංශය දියුණු කළ රටවල්, ලෝකයේ ඉහළම සංවර්ධන අනුපාත අත්පත් කරගෙන ඇත. බොහෝ සංවර්ධිත රටවල්, ජාතික ආර්ථිකයට උපකාරී වීම සඳහා, මොනයම් පරිමාණයකින් හෝ කාර්මික සංවර්ධනය දිරිමත් කරයි. පසුගිය වසර 10ක කාළය තුළ, සුළු වාර්ෂික උච්චාවචනයන් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, කාර්මික අංශය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 27%ක දායකත්වයක් දක්වා ඇති බවට ඇස්තමේන්තු කර ඇත. නිදහස ලබාගැනීමෙන් පසු ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුදයට රට මුහුණ දී සිටින මෙවන් මොහොතක, දේශීය කර්මාන්ත දියුණු කිරීම ජාතියට ලාභය උපරිම කර ගැනීමටත්, ආනයන සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමටත් ඇති හොඳම ක්‍රමයකි. දේශීය වශයෙන් රට තුළ සංවර්ධනය කළ හැකි, දියුණු විය යුතු කර්මාන්ත අංශ කිහිපයක් පහතින් දැක්වේ.

දියුණු විය යුතු කර්මාන්ත: කෘෂිකර්මය සහ ආහාර

වාර්තා වලට අනුව, ලෝකයම ආහාර හිඟයකට මුහුණ දීමට නියමිත අතර, දැනටමත් උද්ධමන අනුපාත ඉහළ යමින් පවතින ශ්‍රී ලංකාවට මෙය දැඩි ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. මන්දපෝෂණයට සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරාගැනීමේ නොහැකියාවට ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටින මිලියන 5.2ක පමණ ශ්‍රී ලාංකිකයන් සඳහා ජීවිතාරක්ෂක ආධාර ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටමත් ජාත්‍යාන්තරයෙන් ආධාර ඉල්ලා සිටීම ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව වගා කළ හැකි සහ ආහාර භෝග රාශියක් නිෂ්පාදනය කළ හැකි භූමියකින් යුක්තය. රසායනික පොහොර හිඟය මඟහරවා ගැනීම සඳහා විසඳුම් සමඟින් කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය සහ ආහාර කර්මාන්ත සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවට ආහාර හිඟය යම්තාක් දුරකට හෝ මඟහරවා ගැනීමට හැකි වනු ඇත.

දියුණු විය යුතු කර්මාන්ත: නිෂ්පාදන කර්මාන්ත

ඕනෑම ආකාරයක නිෂ්පාදන කර්මාන්ත; ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත, දේශීයව සංවර්ධනය කළ යුතුය. ශ්‍රී ලංකාවෙන් මුදල් පිටතට ගලා යන එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ නිමි භාණ්ඩ අපනයනය කිරීමෙන් උපයා ගන්නා ලාභයෙන්, අමුද්‍රව්‍ය ආනයනය කිරීමයි. ඇඟලුම් කර්මාන්තය තුළ මෙය ඉතා පැහැදිලිව දැකගත හැකිය. ඒ නිසා ඇඟලුම් කම්හල්, තේ කම්හල්, වැනි දෙවන පෙළ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පළමු පෙළ සහය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගෘහ කර්මාන්ත වුවද දියුණු කළ හැකි නම්, විදේශ පාර්ශ්වයන්ට අප ගෙවන මුදල් ඉතිරි කර ගත හැකිය.

දියුණු විය යුතු කර්මාන්ත: හෝටල් සහ සංචාරක කර්මාන්ත

සංචාරක ව්‍යාපාරය සහ හෝටල් කර්මාන්තය යනු, COVID-19ට පෙර ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ මුදල් ගෙන ආ කර්මාන්ත දෙකකි. කෙසේ වෙතත්, විටින් විට සිදු වූ රට වසා දැමීම් මෙන්ම දැනට පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙම කර්මාන්ත දෙකම දැවැන්ත ලෙස බිඳ වැටී ඇති අතර, මේ නිසා රට තුළට එන විදේශ විනිමය තවදුරටත් අඩු වී ඇත. එය එසේ වුවද, ශ්‍රී ලංකාව යනු, මෙම දිවයිනේ සුන්දරත්වය අත්දැකීමට උනන්දු වන විදේශිකයන් ආකර්ෂණය කර ගැනීමේ දැවැන්ත හැකියාවක් ඇති රටකි. සංචාරක ව්‍යාපාරය සහ හෝටල් කර්මාන්තය යන අංශ දෙකම දේශීය වශයෙන් සංවර්ධනය කිරීම, ආර්ථිකය සැලකිය යුතු ලෙස නැවත ගොඩනැංවීමට උපකාරී වනු ඇත.

කර්මාන්ත දියුණු කිරීම ඉතාමත්ම වැදගත් වුවද, මෙය සිදු කිරීමේදී අප ජාතියක් ලෙස මේ වන විට මුහුණ දෙන අභියෝග රැසකි. ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පවතින හිඟය හේතුවෙන් අපට කළ හැකි දේ සීමා වී තිබේ. කෙසේ වෙතත්, ජාතිය නැවත ගොඩ ගැනීමට අප ජාත්‍යන්තරය සමග සාකච්ඡා පවත්වන මෙවන් මොහොතක, දැනටත් සිටින සහ හැකියාවැති ව්‍යවසායකයින්ව තම කර්මාන්ත දේශීයව පවත්වාගෙන යාමට බල ගැන්විය හැකි නම්, මෙම ව්‍යාපාර සහ කර්මාන්ත, නැවත වරක් රට ගොඩනැංවිය හැකි ශක්තිමත් පදනමක් සපයනු ඇත.

තවත් වටිනා ව්‍යාපාරික දැනුම සඳහා අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Role of Small Industries in Economic Development of Sri Lanka: A Quantitative Aspect පර්‍යේෂණ පත්‍රිකාව ඇසුරිනි.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X