spot_imgspot_img

‘අංක’ අතර අතරමං නොවන්නට..

ව්‍යාපාරික ලෝකයේ සැරිසරන විට, සාමාන්‍ය පුද්ගලයෙකුට තේරුම් ගැනීමට මඳක් අපහසු යෙදුම් බොහෝමයක් හුවමාරු වේ. බොහෝ අවස්ථාවලදී මීට හේතු වන්නේ, මූලික වශයෙන් ව්‍යාපාර, ‘ඉලක්කම්’ සමඟින් කටයුතු කළද, අපගේ එදිනෙදා ‘ඉලක්කම්’ භාවිතයට වඩා ඒවායේ ඉලක්කම් භාවිතය වෙනස් වීමයි. ලාභ සහ අලාභ වැනි සාමාන්‍ය යෙදුම් වලින් ඔබ්බට ගොස්, එහිදී විවිධාකාර වූ අනුපාතයන් පිළිබඳ සාකච්ඡා කෙරෙනු ලබයි. ඇතැම් විටෙක සාමාන්‍ය අන්දමේ ව්‍යවසායකයෙකු හට මේවා වටහා ගැනීම මඳක් අපහසු වීමට හැක. කෙසේ වෙතත්, ව්‍යාපාරික ලෝකය තුළ භාවිත වන මෙවැනි යෙදුම් පිළිබඳව දැනුවත් වීම, ව්‍යවසායකයෙකු වශයෙන් ඔබට වඩා පහසුවෙන් ව්‍යාපාරික කටයුතු වල යෙදීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

මෙම ලිපිය කියවීමෙන් පසුව දිරිය වෙබ් අඩවියේ ඇති අනුපාත (Ratios) ලැයිස්තුව සහ පාරිභාෂික ශබ්ද මාලාව (Glossary) පරිශීලනයෙන් ඒ පිළිබදව වැඩිදුර අවබෝධයක් ලබාගත හැක.

සෑම කාර්තුවකටම (quarter) වරක්වත් ඔබගේ ව්‍යාපාරයේ කාර්‍යය සාධනය පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් කරුණකි. ඔබේ ව්‍යාපාරයේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගණකාධිකාරීවරයෙකු (Accountant) වැනි වෘත්තිකයෙක් (Finance person) සිටී නම්, ඔහු හෝ ඇය සමඟින් එය සාකච්ඡා කරගත යුතුය. ඔබ තනිවම ව්‍යාපාරය හසුරුවනවා නම් සහ ඔබේ ව්‍යාපාරය සැලකිය යුතු ආයෝජනයක් සහ / හෝ ආදායමක් ඇති ව්‍යාපාරයක් නම්, ඔබට මුල්‍ය කටයුතු සම්බන්ධ යෙදුම් පිළිබඳ සහ මුල්‍ය ප්‍රකාශන අර්ථ නිරූපණය පිළිබඳ හොද අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එහිදී, මුල්‍ය ප්‍රකාශ වල දැක්වෙන අගයයන් ආදිය පහසුවෙන් ලබා ගත හැකි වුවත්, ඇතැම් අගයයන් ඔබ විසින් ම ගණනය කළ යුතු වේ. කාලයත් සමඟ මෙම අගයයන් හි විචල්‍යයන් සම්බන්ධ වාර්තා පවත්වා ගෙන යාම, ඔබගේ ව්‍යාපාරය නිසි පරිදි පවත්වා ගෙන යමින් එහි ප‍්‍රගතිය මැන බැලීම සඳහා ඔබ හට උපකාරී වනු ඇත. එසේම, එමඟින් ඔබගේ ව්‍යාපාරය මනාව ඔබේ පාලනය තුළ පවත්වා ගැනීමට අවකාශ ලැබේ. දිනපතා ගණනය කිරීම් වල යෙදීම බොහෝ කාලය ගතවන කාර්‍යයක් බැවින්, මාසිකව හෝ කාර්තුවකට වරක් සමාලෝචනය කිරීම වඩාත් සුදුසු වේ. ඒ සදහා වර්ෂාවසානය දක්වා බලා සිටීම ද සුදුසු නැත. එයට හේතුව වන්නේ, යම් ගැටළුවක් ඇතහොත්, ඔබ එය හඳුනාගන්නා විට එය විසඳීමට ඔබ ප්‍රමාද වී තිබිය හැකි වීමයි.

ගිණුම් කටයුතු සදහා සහාය අවැසි නම් එය ලබා ගැනීමට ඔබ කිසිම විටක පසුබට නොවිය යුතුය. ඔබට යමක් පැහැදිලි කර ගැනීමට හෝ ව්‍යාපාරික යෙදුම් (business terms) / සංකීර්ණ අනුපාතයන් (complex ratios) ගැන වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය යැයි හැඟෙන සෑම අවස්ථාවකම මුල්‍ය විශේෂඥයෙකුගේ සහාය පැතීම හරහා ඔබට පවත්නා තත්ත්වය පිළිබඳ අවබෝධයකින් යුතුව, සියල්ලම මනා පාලනයකින් යුතුව තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත්, ඔබගේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමේදී මුල්‍ය උපදේශන ලබා ගත යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න තීරණය කිරීමේදී හොඳින් සිතා බැලීම ඉතා වැදගත්. මක්නිසාදයත්, සෑම අයෙකුටම ඔබේ ව්‍යාපාරයේ හෝ කර්මාන්තයේ ඇති විශේෂිත කරුණු පිළිබඳ අවබෝධයක් නොමැති විය හැක. එම පුද්ගලයාට ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිබව ඔබට හැඟේ නම්, වෙනත් මුල්‍ය උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීම උචිත වේ. වැරදි උපදේශකයෙකු නිසා ඔබේ ව්‍යාපාරයට අනපේක්ෂිත ලෙස සෘණාත්මක බලපෑමක් ඇති වීමට තිබෙනා ඉඩකඩ බොහෝය. ඔබ යම් මුල්‍ය ආයතනයකින් ණයක් ලබා ගෙන ඇත්නම්, ඔබට ඇති හොඳම විකල්පය එම ආයතනයේ ම මුල්‍ය උපදේශකයින් විය හැක.

ඔබගේ සියලුම ගැටලුවලට එකම උපදේශකයෙකුගෙන් විසඳුම් බලාපොරොත්තු නොවන්න. ඔබට ව්‍යාපාරයේදී පැන නඟින විවිධ ආකාරයේ ගැටලු සඳහා, ඒ ඒ අදාල අංශ වල ප්‍රාමාණික දැනුමැත්තන්ගෙන් විසඳුම් ලබා ගැනීම වඩාත් ඵලදායී වේ. එමෙන්ම, විවිධ ව්‍යාපාරවල විවිධ අවශ්‍යතා පිළිබඳව අවබෝධයක් ඇති සමාගම් ලේකම්වරයෙකුගේ හෝ ආයතනයක සේවාව ලබා ගැනීමටද ඔබට හැකියාව පවතී. පැහැදිලි හා නිවැරදි වාර්තා තබා ගැනීම තුළින් අනාගත මෙහෙයුම් හා නීතිමය ගැටලුවලින් (Operational and Regulatory Issues) නිදහස්ව සිටීමට ඔබට හැකියාව ලැබෙන අතරම, එය ඔබට ණය පහසුකම් ලබා ගැනීමට පහසුවක්ද වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X