spot_imgspot_img

ඵලදායී පාලන මෙවලමක් ලෙස අයවැයකරණය

ව්‍යාපාර සන්දර්භය තුළ, “අයවැයකරණය” හෙවත් “අයවැය සකස් කිරීම”, යම් කාල සීමාවක් තුළ ලැබිය යුතු උපකල්පිත ආදායමට ප්‍රමුඛතාවය දීමට හා වියදම් කිරීමට සැලසුම් කිරීමේ ක්‍රියාවලිය ලෙසින් අර්ථ දැක්විය හැක. ඉහතින් සඳහන් දෑ ඔබ හට එක්වරම නොවැටහුණා නම් ඒ ගැන පුදුම වන්නට එපා. මාහටද එය කියැවූ මුල්ම අවස්ථා හතරේදීම වටහාගැනීමට නොහැකි වුණා. පහසුවෙන් වටහාගත හැකි වන පිරිදි මා එය කොටසින් කොටස පැහැදිලි කරන්නම්.

අයවැයකරණය  කුමක්ද යන්න පිළිබඳව ඔබට කිසිම අදහසක් නොමැති බව ඔබ සිතන්නේ නම් එය මුලාවකි. එය සැබැවින් ම අප විසින් දිනපතා මෙන්ම මාස්පතා කරන්නට යෙදෙනා දෙයකි. ඇතැම්විටෙක මෙම ලිපිය කියැවීමට පෙරාතුව ඔබ විසින් යම් අයවැයකරණයක් සිදු කරන්නටද ඇති. මෙම ලිපිය ඉක්මණින් කියවා, ඉන් පසු පැයක කාලයක් විකාශනය වන ටෙලි නාට්‍යයක් නැරඹීමට ඔබ සැලසුම් කරන්නට ඇති. මෙයද එක්තරා අන්දමක අයවැයකරණයක් වේ. අපහට ඇති වටිනාම සම්පත වන කාලය අප විසින් අයවැයකරණයකට ලක් කරන්නේ එලෙසිනි. දවසේ පැය විසි හතරෙන් “පැයක” කාලයක් ඔබ ටෙලි නාට්‍යයක් සඳහා වෙන් කරනු ලබනවා. ඉහතකී සංකල්පය දැන් ඔබට වැටහෙන්නට ඇතැයි මම විශ්වාස කරමි. මීළඟට අපි අයවැය සැකසීමේ පියවර සාකච්ඡා කරමු.

අයවැය සැකසීමේ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර

පියවර 1: වෙළඳපොළ තත්ත්වය තක්සේරු කරන්න.

  • ඔබේ ව්‍යාපාරයට, ඉකුත් වර්ෂයට සමාන විකුණුම් වටිනාකමක් ලබා ගත හැකිදැයි පරීක්ෂා කරන්න.
  • ව්‍යාපාරයට විකුණුම් වැඩි කිරීමට හැකියාවක් තිබේදැයි පරීක්ෂා කරන්න.
  • ඉදිරි වර්ෂය සඳහා ඔබේ ඉලක්ක විකුණුම් අගය පරීක්ෂා කරන්න.

පියවර 2: වර්තමාන වෙළඳපළ පරිසරය තුළ ඔබේ ඉලක්කය ඉටු කරගත හැකි දැයි පරීක්ෂා කරන්න

  • එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබට ප්‍රමාණවත් ඉඩම්, ශ්‍රමය සහ ප්‍රාග්ධනය තිබේදැයි පරීක්ෂා කරන්න
  • ඔබගේ වර්තමාන සම්පත් (භෞතික හා මානව) එම ඉලක්කය සපුරා ගැනීමට ප්‍රමාණවත් දැයි පරීක්ෂා කරන්න.
  • ඔබ වැඩි සම්පත් ප්‍රමාණයක් ආයෝජනය කළ යුතුද නැද්ද යන්න පරීක්ෂා කරන්න.
  • ඉහත සම්පත් කළමනාකරණය කිරීමට වත්මන් කළමනාකරණය ප්‍රමාණවත් දැයි පරීක්ෂා කරන්න.

පියවර 3: පිරිවැය සලකා බලන්න

  • ඔබේ වැටුප් කොපමණ ඉහළ යා යුතුද?
  • අමුද්‍රව්‍ය සඳහා කොපමණ මුදලක් වැය වේද?
  • ගබඩා පිරිවැය කොපමණ වේද?
  • අතිරේක යන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ නඩත්තු වියදම් පරීක්ෂා කරන්න
  • අනෙක් පිරිවැය වර්ග එලෙසම පවතින්නේ දැයි පරීක්ෂා කරන්න.

පියවර 4: දැන්, ඔබේ ඉලක්ක සඳහා අරමුදල් සපයන්නේ කෙසේදැයි පරීක්ෂා කරන්න.

  • අමතර සම්පත් අවශ්‍යතාවයට අරමුදල් සැපයීමට ව්‍යාපාරයට ප්‍රමාණවත් මුදල් තිබේදැයි පරීක්ෂා කරන්න.
  • ඔබ මිල වැඩි කළ යුතුද යන්න සහ එසේ නම් කොපමණ දැයි පරීක්ෂා කරන්න.
  • මුදල් ඉතිරි කිරීමේ සකසුරුවම් ක්‍රම අනුගමනය කරන්න.
  • බැංකු ණය වැනි මූල්‍යමය විකල්ප කරා යොමුවන්න.

ඉහත සියලු තොරතුරු එක් රැස් කරගත් පසු අයවැය සැකසීම ඇරඹීමට අවැසි සියලු කරුණු ඔබ සතුව ඇත.

පාලන මෙවලමක් ලෙස අයවැය භාවිතා කිරීම.

අයවැයක් පිළියෙළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් ඔබ පැහැදිලි අදහසකින් සමන්විත බැවින්, මෙම ලිපියෙහි වඩාත්ම සිත්ගන්නාසුලු අංගයට යමු. මුදල් ගලා ඒම සහ පිටතට ගලායාම ප්‍රශස්ත මට්ටමින් සමතුලිත කිරීම ඉතා අපහසු කාර්යයක් බව අප හොඳින් දන්නා දෙයකි. වඩා හොඳ  මුදල් ගලා ඒමක් ඇති විට ව්‍යාපාරය හොඳ මට්ටමක පවතිනවාක් මෙන්ම මුදල් ගලා ඒම දුර්වල වූ විට ව්‍යාපාරය දුර්වල වීම ස්වාභාවිකය. අයවැයක් ඇති විට, ඔබේ මුදල් පිටතට ගලායාම කළමනාකරණය කළ හැකි අතර එමඟින් අනපේක්ෂිත මුදල් ගලා යාමක් සිදු වූවද ව්‍යාපාරය ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාවක් පවතී. “නමුත් ඒ කෙසේද?” ලෙසින් ඔබට පැණයක් මතුවිය හැක. ඔබට අවම කළ හැකි පිරිවැය වර්ග කිහිපයක් මෙන්ම ඔබේ විකුණුම් ප්‍රතිදානය නොසලකා ඔබ විසින් අනිවාර්‍යයෙන්ම දැරිය යුතු වන වියදම් කිහිපයක් ද තිබේ. පිරිවැය පාලනය කිරීමේදී සෑම වර්ගයකම පිරිවැය වෙනස් ලෙස සැලකිය යුතුය. ඒවා මොනවාදැයි සොයා බලමු.

විචල්‍ය  පිරිවැය සහ ස්ථාවර පිරිවැය

විචල්‍ය පිරිවැය යනු නිමැවුමේ වෙනසක් අනුව වෙනස් වන පිරිවැය වර්ග වේ. එනම්, ඔබේ නිෂ්පාදනය වැඩි කරනා විට, නිෂ්පාදන පිරිවැය හා ඊට ප්‍රතිලෝමව විචල්‍ය පිරිවැය අනිවාර්යයෙන්ම ඉහළ යාම සිදුවේ. (උදා: අමුද්‍රව්‍ය පිරිවැය හා ඇසුරුම්කරණ පිරිවැය). අප මේ ආකාරයේ වියදම් අවම කරන්නේ කෙසේද?

  • ක්ෂණික නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය දේ පමණක් මිලදී ගැනීමට උත්සාහ කරන්න.
  • ඔබට් නියත වශයෙන්ම අලෙවි කිරීමට අවැසි දේ පමණක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන්න
  • තොග හැකි තරම් අඩු මට්ටමක තබා ගන්න
  • තොග යනු මුදල් ද වන අතර ඒවායේ අවදානමක් ද පවතී.
    • ගබඩා
    • යල්පැන යාම
    • සොරකම
    • හානි
  • පාරිභෝගික ව්‍යාපාරවලට කඩිනම් සැපයුම් දාමයක් තිබිය යුතුයි.
  • හැකි සෑම තැනකම ණය පදනම මත මිලදී ගන්න.
  • භාණ්ඩ අලෙවි කොට මුදල් ලැබීමෙන් පසුව මිලදී ගැනීම් සඳහා මුදල් ගෙවීමට හැකිතාක් උත්සාහ කරන්න.

මීළඟට වැදගත් වන්නේ ස්ථාවර පිරිවැයයි. ස්ථාවර පිරිවැය යනු විචල්‍ය පිරිවැයට ප්‍රතිවිරුද්ධාර්ථයයි. එනම්, නිෂ්පාදන මට්ටම්වල වෙනස්වීම් සමඟ විචල්‍ය නොවේ. නිෂ්පාදන මට්ටම් කෙතරම් ඉහළ ගියද ,අඩු වූවද, ස්ථාවර පිරිවැය එලෙසම පවතී. (උදා: කුලී ගෙවීම් හා රක්ෂණය). “ඒවා වෙනස් නොවන්නේ නම්, පාලනය කරන්නේ කෙසේද?” යනුවෙන් ඔබ කල්පනා කරනවා නොඅනුමානය. විකුණුම් පාර්ශවයේ  වියදම් අඩු කිරීමෙන් ඔබේ ස්ථාවර වියදම් අඩු නොවනු ඇත. කෙසේ වතුදු, නිවැරදි පියවර අනුගමනය කිරීමෙන් ඔබට ස්ථාවර පිරිවැයේ මට්ටම පහත හෙළිය හැක.

  • සෑම මාසයකම වැය පාර්ශ්වය නිශ්චය කොට ඒ කෙරේ බැඳී සිටින්න.
  • අර්ධකාලීන කොන්ත්‍රාත්තු සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ විකුණුම් වර්ධනය වන විට ඔවුන්ගේ කාලය වැඩි කිරීම හෝ ඒ වෙනුවට දෛනික කොන්ත්‍රාත්කරුවන් බඳවා ගැනීම කෙරේ සලකා බලන්න.
  • හැකි සෑම තැනකදීම වියදම් සඳහා ඉතිරි කිරීම් කරන්න.
  • ජ්‍යෙෂ්ඨ සේවකයින් සඳහා වියදම් පාලනය ප්‍රධාන කාර්යසාධන සාධකයක් (key performance factor) බවට පත් කරන්න.
  • ඇතැම් සේවාවන් බාහිරව ලබා ගැනීම කෙරේ අවධානය යොමු කරන්න.
  • ගිණුම්කරණය
  • වැටුප් ලේඛනය
  • ප්‍රවාහනය / බෙදා හැරීම
  • අලෙවිකරණය
  • තත්ත්ව පාලනය
  • පිරිසිදු කිරීම

පිරිවැය වර්ග ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා, පිරිවැය පිළිබඳ දිරිය ලිපිය කියවන්න.

අවසාන වශයෙන් අපි ඉහත සටහන් කරන්නට යෙදුණු කාරණාවන්හි සාරාංශයකට පැමිණෙමු. අයවැයක් යනු  ඔබේ අනාගත මුදල් ගලා ඒම සහ පිටතට ගලායාම කළමනාකරණය කිරීමට භාවිතා කළ හැකි වැදගත් පාලන මෙවලමකි. ඔබේ අපේක්ෂාවන් සහ ඒවායේ ශක්‍යතාවයන් ප්‍රවේශමෙන් සැලසුම් කර ඒවා ලිඛිතව තබාගන්න. ඉන්පසු, ඉදිරි කාලය තුළ ඔබ දරන්නේ කුමන ආකාරයේ වියදම්ද යන්න විශ්ලේෂණය කරන්න. පිරිවැය වර්ගය මත පදනම්ව, පිරිවැය අඩු කිරීමට කටයුතු කරන්න. එවිට ඔබට තත්ත්වයෙන් උසස් අයවැයක් ඉතිරි වන අතර එමඟින් ඔබේ සංවිධානය බිඳවැටීම වැළක්වීමට හැකි වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X